Adith Books
ලොකු වුණත් පොඩි වුණත් හැම කෙනෙකු ම වටිනවා. හැමෝගෙ ම හපන්කම් අගය කරන්න පුරුදු වුණු යාළුවො පස් දෙනෙක් ගැන මේ කතාව ලියලා පින්තූර ඇන්දේ කුසලා වෙත්තසිංහ.
ළමයින් තුන් දෙනෙක් අසල තිබෙන කැලයක ඇවිදින්න ගියා. එහි දී ඔවුන්ට හමුවුණා උමං දොරටුවක්! උමඟ දිගේ ගිය ළමයින් පැමිණියේ කවදාවත් නොදුටු විස්මිත තැනකට. මේ දරුවන්ගේ පැමිණීම නිසා එහි වාසය කළ අයගේ ජීවිත වෙනස් වුණේ ඇයි? මේ අපූරු පොතට 1992 දී හොඳම යොවුන් නව කතාවට හිමි රාජ්යය සාහිත්ය සම්මානය ලැබුණා.
පුංචි ළමයෙකුට විතරක් දැනෙන ආදරණීය මතකයන් සහ හිනා යන කතා! ඒ පුංචි ළමයා සිබිල්. ගමේ ගත කළ බාල කාලේ ගැන සිබිල් වෙත්තසිංහ ලියූ ඇගේ ජීවිත කතාවයි ‘වැනියං කළු වැනීයං.’ ඇගේ හිතේ හැමදාමත් රජ කළ කුඩා දරුවා මේ පොත කියවන විට අපට නොවැරදී ම මුණගැහෙනවා.
සිබිල් කුඩා දැරියක් ලෙස කොළඹ පැමිණි පසු ඇගේ පාසල් කාලය ගැන ඈ ලියූ ජීවිත කතාවයි නොමියෙන කළු දූ. ඇත්තටම මෙය දෙවැනි ලෝක යුද සමයේ නගරයේ සහ ගමේ සිදුවීම් දෙස ළමා ඇසින් බලා ලියූ වැදගත් සටහනක් ද වේ. ඒ සියල්ල මැද සිබිල් දැරිය සිතුවම් ඇඳීමට ඈ තුළ වූ ආසාව අතහැරියේ නැහැ. ඔබේ සිබිල් වෙත්තසිංහ පොත් එකතුවේ තිබිය යුතු ම පොතකි මෙය.
සිබිල් වෙත්තසිංහගේ ඉතාමත් ජනප්‍රිය පොත කුඩ හොරා 1986 දි නැවත පළ වුණා වර්ණ රූප සහිතව. මුලින් ම ජපානයේ ප්‍රකාශය කෙරුණු මේ පාට පාට කුඩ හොරා ඉන් පසු තවත් රටවල් 8ක පළ කෙරුණා. 1987 දී එය ජපානයේ ළමයින් විසින් ඉතාම ජනප්‍රිය පොත හැටියටත් තෝර ගනු ලැබුවා.
‘කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලාවත් නැහැ.’ ලංකාවේ ළමා පොත් ලෝකෙ අපූරු පෙරළියක් කළ, සිබිල් වෙත්ත්සිංහගෙ කුඩ හොරා කතාව පටන්ගන්නේ එහෙමයි. 1956 මුලින්ම පළවුණේ කළු සුදු චිත්‍ර සහිතවයි. පරම්පරා ගණනක් රස විඳි කුඩ හොරාට අදටත් හැමෝම ආදරෙයි.
පුංචි පැලේ පිල පිරෙන්න තරම් ලොකු වෙසක් කූඩුවක්! මේ විසාල කූඩුව අලවන්න කොළ ගන්න සල්ලි කෝ? ඒකට උත්තරයක් සොයා දුන්නේ අත්තම්මා. දෙන්නා එකතුවෙලා හැදූ මේ කූඩුවේ කවුරුවත් කවදාවත් දැකලා නැති අමුතු ම සැරසිල්ලක් තිබුණා. ඒ ගැන ලියූ ලස්සන කතාවයි වෙසක් පහන.
කැලෑවෙ හිටිය යකෙක් මල්පිනාගෙ ගෙදර මිදුලෙ වේලිච්චි කොළ ගොඩේ හැංගුණා. ගේ ඇතුළෙන් කැවුම් සුවඳක් එනවා. කැවුම් කන්න ආසාවෙනුයි යකා බලාගෙන ඉන්නේ. යකාට කැවුම් කන්න ලැබුණ ද? නැද්ද?
වසර 2003 දි ඉතාම හොඳින් සැලසුම් කළ ළමා පොතට හිමි සාර්ක් සම්මානය දුවන රැවුලට හිමි වුණා.
කැලෑව මැදින්, මහ රෑ, කළුවරේ ගමනක් ගිය බෙර වයන්නෙකුයි නැට්ටුවෙකුයි මහ විශාල අලියෙකුට බය වුණා. අලි බය අලි හිනාවක් වුණු හැටි ගැන දැනගන්න කියවන්න මේ ජන කතාව.
ගමේ සිදු වන දේ ගැන කියැවෙන, හිනා රසයෙන් පිරුණු ජන කවි කීපයක එකතුවක් ‘අපේ ගමේ කවි’ පොත. ගම්බද ජීවිතය ගැන දන්න නොදන්න කාටත් එක වාගේ රස විඳින්න පුළුවන්.
නරි නයිදෙගෙ පුතගෙ මඟුල් දවසේ මුළු කැලෑවම සිරියවෙන් සැරසුණා. නරි නයිදෙගෙ කපටිකම් නිසා වුණු හිත් රිදීම් අමතක කරලා හැමෝම උදව් කළා…. එක්කෙනෙක් ඇරෙන්න. ඒ ගැන ලිව්ව ලස්සන කතාවයි මේ.
ටිලිං! ටිලිං! ටිලිං! සීනු සද්දයක් ඇහුණා පාරේ. යාළුවෝ හතර දෙනා දුවගෙන ආවා බලන්න. පාරේ නට නටා ආවේ බොරු කකුල්! ළමයින්ගෙන් ගැලවිලා බොරු කකුල් පැනලා දිව්වේ ඇයි? යෝධ අඩි තබමින් දිව්ව බොරු කකුල් අල්ලාගන්න ළමයින්ට පුළුවන් වුණාද? කතාව ලියලා පින්තූර ඇන්දේ කුසලා වෙත්තසිංහ.
බකමූණා කඩයක් දැම්මා හිඹුටු විකුණන්න. බකමූණා හරිම කැමතියි හිඹුටු විකුණලා ලැබෙන රන් කාසි රන්! රන්! සද්දෙන් ගණන් කරන්න. බකමූණගෙ හිඹුටු කඩේට මොකද වුණේ? බකමූණා හැමදාම රෑට අත්තක් උඩ වාඩිවෙලා හුම්! හුම්! කියමින් ඉන්නේ ඇයි?
රසට කෑම උයන කඩිසර රංගොයි උයන්න හොඳටම කම්මැලි කංගොයි ගැන කතාවයි ඇවිදින කොරහ. ඉබි නයිදෙ කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ? කියවලාම බලන්නකෝ.
“මට පුළුවන් හඳට උඩින් පනින්න” සූත්තර පුංචා කිව්වා. අත්තම්මයි මුත්තයි හිනාවුණා. ඒත්සූත්තර පුංචා හඳට උඩින් පැනලා පෙන්නුවා. කොහොමද එහෙම කළේ කියලා කියවලා දැනගන්න.
කැළෑවේ ඉන්න නරියෙකුට බත් කන්න ආසා හිතුණා. නරියා කපටි රඟපෑමක් කරලා ගම ගෙදරකට දෙකකට ගිහින් රසට බත් කෑවා. ඒත් එක දවසක් නරියටයි රැවටෙන්න සිද්ධවුණ්. මේ කතාව ජපානය, ස්වීඩන්ය, තායිවානය, නෝර්වේ, ඩෙන්මාර්කය යන රටවලත් ප්රකාශයට පත් කෙරුණා.
ඉස්සර කාලේ ගමේ මඟුල් ගෙදරක් ගැන කියැවෙන මේ කතාව කළු මැණිකයි කළු බණ්ඩයි ගැනයි. හිනාවෙවී කියවන්න හොඳ පුංචි කතාවක්.
හැන්ද නටයි – කූර නටයි කිය කියා කැවුම් බදින්න ගත්තත් හැදුණේ කැවුම් යෝධ්යෙක්! අහසට පැනගත්ත කැවුම් යෝධයා අල්ලගන්න කුරුල්ලන් ආවත් කාටවත් බැරිවුණා එයාව අල්ලන්න. අලුත් අවුරුද්දේ සතුට අරගෙන ආ කැවුම් යෝධයාගෙ කතාව සිබිල් නැන්දා කියන්නේ කවියෙන් සිංදුවෙන්.
ජන කවි හරි මිහිරියි. සමහර ජන කවි හරි විනෝදයි කියවන්න, අහන්න. කරදර මැද වුණත් හිනාවෙන්න පුළුවන් නේද කියලා හිතෙනවා එහෙම කවි අහන විට. හිනාවෙන්න, සතුටුවෙන්න කියමු අපි මේ ජන කවි.
කක්කුට්ටා, රිලා හාමි, කොට්ටෝරුවා, කුඹල් මාමා, බට්ටිච්චෝ, සූටික්කෝ, ….. පරිසරයත් සතා සීපාවත් අපේ ජීවිතයට කොපමණ සමීප ව හිටියද කියලා අපට මතක් කරලා දෙනවා මේ ජන කවි එකතුව.
බොහොම ඈත අතීතයේ මිනිස්සුන් හෙවනැල්ලෙන් වේලාව බැලූ කාලයේ එක මුහුදු වෙරළකට අමුතු කකුළු වර්ගයක් ගොඩ ගැහුවා. ඒ ළඟ ගමක මිනිස්සු මේ අමුතු කකුළුවන් ඇහිඳගෙන ගිහින් රසට හොදි හැදුවා. ඒ ජන කතාව සිබිල් නැන්දා හිනා රසයෙන් ඔපවත් කරලා කියනවා.
‘කුඩේ තියෙන්නේ නන විතරයි දැනට’ ….. ජන කවියෙන් මිනිස්සුන්ගේ ජීවිතයේ එදිනෙදා කරදර ගැන කිව්වේ ඔහොම විනෝද රසය මතු කරමින්. නිතරම හිනාවෙන්න කැමැති සිබිල් නැන්දා මේ කවි එකතු කරන්න ඇත්තේ ආසාවෙන්.
කූඹියයි කූඹිච්චියි වැස්සට තෙමුණා. ඒ හින්දා දෙන්නම ලිප් ගල උඩ ගිනි තැප්පා. ඒත් ඒ නිසා ගහක් කොළ හලාගත්තෙ ඇයි? ගඟ වතුර හිඳගත්තෙ ඇයි? හිනායන මේ පුංචි කතාව කූඹිය කූඹිච්චියි ඒ දෙන්නා වටා තිබෙන යාළුකමෙන් පිරුණු ලෝකය ගැනයි.
Username or email *
Password *